169. "පින හා කුසලය" යනු කුමක්ද?

පින හා කුසලය දෙකක්ද එකක් ද? මේකෙ තියනව 'පුණ්‍ය කර්ම', 'පාප කර්ම', 'කුසල කර්ම', 'අකුසල කර්ම'. හතරක්. මේ "පින" කියන එක සංසාරේ යහපත්සේ සුගතියකට පත්වෙන්න හේතුවන, උපකාර වන, දෙව් ලෝක වල, කාම ලෝක වල, සුගති ලෝක වල දෙව් - මිනිස් සැප ලබන්නට උපකාර වන දේ පින. පින හැබැයි අත්‍යවශ්‍යයි, මිනිහෙක් වෙන්නේ නෑ පිනක් නොකර.
ඒනිසා පින්කම් කරන්න එපා කියන කතාවක් එහෙම මෙතන නෑ. හැබැයි කිසි දවසක පින්කම් විතරක්ම කරලනං නිවන් දකින්න බෑ. එකනං බුදුහාමුදුරුවෝ පැහැදිලිවම 'සංමා දිට්ඨි' සූත්‍රයේ ප්‍රකාශ කරලා තියනව.
දැන්, "කුසලය" කියන්නේ මොකක්ද? ඔන්න ඔය වචනෙයි අද අපිට තේරුම් කරල දෙන්න, තේරුම් ගන්න බැරුව තියෙන්නෙ. දැන් මේ කුසලය කියන එකට, ඔය දහම් පාසල් පොත්වල, පිරිවෙන් පොත්වල, පාසලේ බුද්ධ ධර්ම පොත්වල, ඔක්කෝම පරිවර්තනයක් කරලා තියනව "කෞශල්‍ය", "හැකියාව" කියල. මේක වැරදියි. කුසලස්ස උපසම්පදා කියන 'මාගධී' වචනෙ තේරුම, "කු-සල-අස්ස", "කු" කියන්නේ 'කුණු, කිලිටු, කෙලෙස්. කුණු, කිලිටු, කෙලෙස් හිතේ මුල් බැහැගෙන තියනව. ඒ මුල් බැහැගත්ත කෙලෙස් අපි, සොලවල, ගලවල, අස්කරල්, ඒකෙන් නිදහස් වෙන්න ඕන. එතකොට "කුසලස්ස උපසම්පදා" කිවුවේ මේ කෙලෙස් මුල් තුන, "රාග මුල - ද්වේශ මුල - මෝහ මුල", කියන මේ මුල් තුන, ඒ ඒ පුද්ගලයාගේම හිතේ 'ඇඩික්ටඩ්' (addicted) වෙලා මුල් බැහැල ඒ කෙලෙස් මුල් තුන දැන් ක්‍රියාත්මකව පවතිනව.
එතකොට, ඒ කෙලෙස් මුල් තුන යම්කිසි කෙනෙකුට මුලින් උදුරලා ගලවල දාන්න බැරිනං, ඒ පුද්ගලයා පින්කම් කරකර හිටියට කොච්චර වුනත්, සුගතියට යනව. දෙව් ලෝකවල මිනිස් ලෝකවල ඉපදෙනවා. නමුත් කෙලෙස් මුල් උදුරල දාන්නේ නැතුව, රාගක්ඛය වෙන්නේ නෑ, ද්වේෂක්ඛය වෙන්නේ නෑ, මෝහක්ඛය වෙන්නේ නෑ, කම්මක්ඛය කරන්න බෑ, ආසවක්ඛය කරන්න බෑ. ඒනිසා බුදුහාමුදුරුවෝ පැහැදිලිවම කිව්වා මේ මුල් තුන "රාග මුල, ද්වේශ මුල, මෝහ මුල" හැම පෘතජන පුද්ගලයෙක් තුලම, කුරා කුහුඹියගේ පටන් මහා බ්‍රහ්මය තුලත් මේ කෙලෙස් මුල්තුන ක්‍රියාත්මකව පවතිනව. හැබැයි මිනිහෙක් වූ අවස්ථාවක, මනුස්සත්ත පටිලාභයක් ලැබූ මේ අවස්ථාවේ, තමන් තුල මේ කෙලෙස් මුල්තුන ක්‍රියාත්මක වෙනවද නැද්ද කියනඑක තමන්ට බලන්න පුළුවන්.
අර තරහ යන්නේ මොකෝ, ද්වේෂමුල තියන නිසා. තරහ යන්නේ, තරහ ගන්නේ, තරහ එන්නේ, ද්වේෂමුල තියනව. මේ ද්වේශය මුල්බැහැගෙන තියනව. ඒ වගේමයි ප්‍රියදේට ඇලෙන්නෙ මොකෝ? ඔය ඇහෙන් ලස්සන රූපයක් දැක්කහම ඒකපස්සේ හඹාගෙන ගිහිල්ල ඒකෙන් ආශ්වාදයක් විඳින්න යන්නෙ මොකද? අර රාග මුල මුල් බැහැගෙන තියනනිසා. ඒවගේම, අපි යමක් දැක්කහම මේ සංසන්දනය කරලා මනින්න යන්නේ මොකද? මේ මානය කියන, අසමි මානය කියන මුල තමන්තුල ක්‍රියාත්මක වෙනනිසා.
ඉතින් ඒකනිසා, මේ "රාග මුල, ද්වේශ මුල, මෝහ මුල" උදුරල දාන්න පුළුවන් තමන්ගේ හිතෙන්. එහෙම උදුරල දාන්න බැරිනං, බුදුහාමුදුරුවෝ මේ ධර්මය දේශනා කරන්නෙත් නෑ, 'රාගක්ඛයෝ, ද්වේෂක්ඛයෝ, මෝහක්ඛයෝ, නිබ්බානං' කියන කතාවක් කියන්නෙත් නෑ. එනිසා පැහැදිලිව, පිරිසිදුව බුදුහාමුදුරුවෝ කිව්වා 'රාගක්ඛයෝ නිබ්බානං, ද්වේෂක්ඛයෝ නිබ්බානං, මෝහක්ඛයෝ නිබ්බානං'.
ඒනිසා මේ කුසලස්ස උපසම්පදා කියන "කුසල" කියන වචනේ, මාගධී වචනයක්, මේ කුණු මුල් තුන, ගලවල, උදුරලා, අස්කරලා, අයින්කරල් දාන එකයි කුසලය. "පින" කියන්නේ, අපි අර, මේ සංසාර ගමන හොඳින් ගමන් කරන්නට, සුගති ලෝකවල, කාම ලෝකවල, මේ මිනිස් ලෝකේ, 'දෙව්-මිනිස් සැප' ලබන්න කරන දේවල් තමයි පින්කම්. දැන් හැබැයි පින්කම් නොකර කුසලයක් කරන්නත් බෑ. ඒකයි මේකේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒකහින්ද බුදුහාමුදුරුවෝ පින්කම් කරන්නත් කිව්වා. 'නන්දා' සුත්‍රයේ බුදුහාමුදුරුවෝ කිව්වා, "නන්දාවනි පින්කම් කල යුතුමය". හැබැයි ඒ පින අපි කුසලයක් බවට පරිවර්තනය කරගන්න පුළුවන් ධර්ම අවබෝධයක් තියනවනං. ධර්ම අවබෝධයක් නැත්තං, ඒ පිනත් අපේ සංසර ගමන දික්වෙන්න පමණයි හේතු වෙන්නේ.
දැන් අපි කිව්වොත් එහෙම මේ පින්වතුන්ට, දැන් මොකක් හරි දානයක් දීල, එහෙම නැත්නං පින්කමක් කරල, පින් අනුමෝදන් කරන වෙලාවට, මේ පින්වතුන්ට කිව්වොත්, "මේ පින්වතුන් මේ කරගත්ත පින නිසා, අර නන්දා, සුනන්දා, මල්ලිකා, විශාකා මෙන්, රූප සම්පත්, ධන සම්පත්, අර සම්පත්, මේ සම්පත්, ලැබ දෙව්-මිනිස් සැප කෙළවර මෛත්‍රී බුදුන් දැක නිවන් දකිත්වා" කිව්වොත්, දැන් අපි මොකද කලේ, පින්කමක් කරගත්තා, පින නිසා නිවන කල්දාන, මතු මතුත්, දෙව්-මිනිස් සැප ලබන්නට තව තවත්, ප්‍රාර්ථනාවක් ඇතිකරගත්ත. ඒකනිසා පින උපාදානය කරගත්ත, ඒ උපාදනයේ ප්‍රතිඵලයක් හැටියට, අපේ හිතේ කුසලයක් උපදින්නේ නෑ. කුණු සලාහරින්න බෑ.
ඉතින් ඒකනිසා "කුසලය" කියන්නේ කුණු මුල් තුන ගලවල දාන එක, උදුරලා දැමීම. "පින" කියන්නේ සංසාරය 'සුගති ලෝකවල, කාම ලෝකවල' යහපත් ආකාරයෙන් කම්සැප, සුවසැප විඳින්නට, 'කාමාවචර - රූපාවචර - අරූපාවචර' ලෝකවල සැරිසරන්නට උපකාරවන දේ පින, හැබැයි ඒ පිනම අපිට පුළුවන්කම තියනව කුසලයක් බවට පරිවර්තනය කරගන්න, හරි හැටියටම. 'ත්‍යාගෝ පටිනිස්සග්ගෝ - මුක්ති අනාලයෝ' කියන තත්වයෙන් අපිට පුළුවන් පිනක් කුසලයක් බවට පරිවර්තනය කරගන්න. ඒනිසා ඒක දෙකක්. පින, පින්කම් කරන්න එපා කියල කතාවක් නෑ. හැබැයි පින නිසා තමන් සංසාරේ දික්කරන ප්‍රාර්ථනාවක් ඇතිකර ගත්තොත්, අන්න "පින - උපාදානය කරගන්න නිසා" කුසලයක් නැතිවෙනව.

mp3 ලෙස බාගත කරන්න

෴ < පෙර ප්‍රශ්ණයට  •  ඊළඟ ප්‍රශ්ණයට > ෴

බෙදාහරින්න